unprotected thoughts

බඩ අල්ලාගෙන හිනා වෙන්න සිංහලේ එදිනෙදා විහිලු කතන්දර.


මේ ලියන්නේ කාලයක් තිස්සේ දැකපු අහපු විහිලු කතන්දර කීපයක්. මේ වාගේ බොහෝමයක් කතා වයසත් එක්ක අමතක වෙලා ගිහිල්ලා. මතක තියන කීපයක් තමයී ලියන්නේ.

හරක් හොරා.
ඔන්න ගමක හරක් හොරෙක්ව රෑ එලිවෙනෙකම් රැකලා ඉදලා පොලොසියෙන් අල්ලගෙන. ගමක් කීවට ඔය කොලඹ ඇත්තො සුරතලේට කතා කරන කොග්ගල වගේ ගමක් නොවෙයී ඕන්. මේ ගම හැබෑම ගමක්. අක්කාගේ කොල්ල ඉස්කොලේ වැඩිපුර ලකුණු ගත්තොතින් ඌට කබර තෙල් දෙනව. ගෙදර දෙමහල්ලොම හේන් කොටන්න ගිහිල්ලා. හැඩිමහල් එකී තමයී පොඩි එවුන් තුන් හතර දෙනාම බලා ගන්නේ. වැඩිමල් එකීට වයස දහයක් දොලහක් විතර ඇති. ඒ කොහොම උනත් හැම එකාම ඉස්කෝලෙනම් යනවා. මොකැයී ඇමරිකානු ආදාර යටතෙ දෙන විස්කෝතු හම්මු වෙනවානේ. විවේකෙන් පස්සෙ බාගයක් ඉස්කෝලෙ නැහැ. වැටෙන් රිංගල ගෙදෙර ගිහිල්ල.

ඔය ගමේ තමයි මේ හරක් හොරා ඉන්නේ. උන්දෑ හරක් හොරකම් කොරගෙන ගිහිල්ල විකුනනවා එහෙම නෙවෙයී. වන්ගියෙන් වන්ගියට රෑ පානේ ගමට ඇවිල්ලා හරකගෙක් ඩැහැගෙන ගිහිල්ල මරාගෙන කනවා මාස ගනනක් තියාගෙන. කැලේ තමයී ඉන්නේ. වැඩි වයසක උන්දෙක් නොවෙයී, සාගතේට අහුවෙච්ච කලු ගැහිච්ච කැහැටු කොලු ගැටයෙක්. සරම් කඩමාල්ලක් වගේ එකක් ඇදගෙන හිටියාට ඒකට සරමක් කියන්න බැහැ. මම උන්දෑව දැක්කෙ පොලොසියෙන් අල්ලා ගත්තාට පස්සේ. මේකව අල්ලාගෙන හොදටම නෙලලා, ඇග පුරාම ලේ පාරවල් තැලුම් පාරවල්. හරක් හමක් පිට උඩ පොරෝල. හරක් වලිගයක් කටින් හපාපිය කියලා දීලා ගම හරහ උදේ පාන්දර මූට ගගහ දක්කගෙන එනවා උදේ බස් එකට හරක් වලිගෙත් කටින් එල්ලාගෙන. උන්දෑ බාගෙට මැරිලා වගේ. ඇවිද ගන්නත් බැහැ. කැලෑ ගදයී. අන්තිමට ගෙනල්ලා ඌව බස් එකේ බැටරි පෙට්ටිය ලගින් බිම ඉන්දෝල කකුල කනුවකට අල්ලලා මාන්චු දැම්මා. මමත් ඒ බස් එකෙම තමයී එදා අප්පච්චිත් එක්ක ආපහු කොලඹ එන්න කියලා ආවේ. ඌ හරක් වලිගෙත් කටින් හපාගෙන හරක් හමත් පොරවාගෙන එහෙ විසි වෙනවා මෙහේ විසි වෙනවා. ඔලුව හැප්පෙනවා, කද හැප්පෙනවා.පොලිසීයේ රාල හාමිලා දෙන්නාට එක දැකල හරිම හිනා. දෙන්න දෙන්නාගේ මූන බලාගෙන හිනාවෙනවා.

බලු නකුටා
අපේ ගෙවල් පැත්තේ අයාලෙ යන බල්ලො ගොඩයී. අරහෙ දුවනවා මේහේ දුවනවා. අනුන්ගේ වතුවලට යනවා, ජරාව කොරනවා. ඔය ගොඩේ හිටියා බලල් ඇස් තියන කෙට්ටු බැල්ලියක්. හැම මුරෙටම කොහේ හරි පැටව් තුන් හතර දෙනෙක් දානවා. අනුන්ගේ කුනු ගොඩවල් වලට ගිහිල්ල කනවා. ගෙහිමියෝ කෙලින්න එනකොට අරහෙට මෙහාට පැනලා බේරිලා දුවනවා. මගේ යාලුවෙක් දවසක් ගඩොල් බාගයක් අතේ තියාගෙන ඉන්නවා මේ බැල්ලි එනකම්. බැල්ලිත් හොරෙන් හොරෙන් වැටෙන් රිංගල ආව කුනු ගොඩ ලගට. කොල්ල එල්ලෙ බලලා ඇරිය ගඩොල් බාගෙ කෙලින්ම බල්ලාගේ කකුලට. බැල්ලිට තරු. කකුලත් උස්සාගෙන යටි ගිරියෙන් බෙරිහන්දීගෙන එක පිම්මට වැට අස්සෙන් රිංගලා පැටව් ඉන්න දිහාවට දිවේ එක හුස්මට. බල්ල නොපෙනී ගිහිල්ලත් උගේ ලතෝනිය ඇහෙනවා. මයේ යාලුවට හරිම හිනා. උන්දෑ බල්ලා දුවපු හැටි කිය කියා හිනාවෙනවා. පෙන්න පෙන්නා හිනාවෙනවා. ගඩොලෙ තරම කිය කියා හිනාවෙනවා.

කුඩු කාරයා
නුගේගොඩ කිට්ටුව අලංකාර පන්සලක් තියනවා. ඔය කිට්ටුව මමත් හිටියා කාලෙකට උඩදි. හැම පෝයටම ලව්ස්පීකරේ පිරිත්. කටින පින්කම කාලේට හැමදාම පිරිත්. බොහොම සිංහල ගමක්. දවසක් ඔය ගමට කුඩු කාරයෙක් හොරකමේ ඇවිල්ල. දන්නවානේ උන්දෙලාගේ කතාව. වැලක රෙද්දක් දාලා තියන්න බැහැ හොරකම් කොරනවා. ලිදේ බාල්දිය බොලොක්කෙ එක්ක හොරකම් කොරනවා. ගමේ උන්දෙලා මේකව අල්ලාගෙන, ඇදගෙන ඇවිල්ල පාර ලගට. ගමේ පිරිමි සරන් ඇද ඇද දුවගෙන එනවා. එකෙක් නිදාගෙන හිටපු ඇදේ ඇද පොල්ලත් ගලෝගන ඇවිල්ල. සමහරුන් කකා හිටපු ගමන් අතේ ඉදුල්. කට්ටියම වටකරගෙන මේකට ගහනවා. පොලුවලින් ගහනවා. පයීන් ගහනවා. එකෙක් ඌගේ කෙස්සෙන් අල්ලාගෙන. කට්ටිය වට වෙච්ච තරමට සමහරුන්ට ගහන්න යන්න ඉඩ නැහැ. උඩින් අත දාල ඔලුවට ගහනව. ගෑනු, ලමයී අතේ එල්ලාගෙන පාරට ඇවිල්ලා කැ ගහනවා. ඕකට ගැහුව ඇති, දැන් ඕකා මැරෙයී. එකෙක් කියනවා. හොදවැඩේ කුඩුකාර හැත්ත. තව ගෑනියෙක් කියනවා. අන්තිමට ගුටි කෙලිය ඉවර වෙනකොට කුඩු කාරයා බාගෙට මැරිලා. ඇදුම් ඉරිලා. සිහිය නැහැ. ත්‍රීවීල් මල්ලි ත්‍රීවීල් එක කරකවගෙන ඇවිල්ල බිම වැටිලා උන්න එකා ඇදලා, පිටිපස්සෙ බිමට දාලා පොලෝසියට ගෙනිච්චා. වටවෙච්ච ගමේ කට්ටිය කුඩු කාරයාට කෙලපු හැටි ගැන කිය කියා හිනාවෙනවා. ඌට ගහනකොට ඌ බෙරිහන් දුන්නු හැටි කිය කියා හිනා වෙනවා. හිනා ගොඩයී.

ගැබිනි වාට්ටුව.
මේක මම දැකපු කතාවක් නෙවෙයී. අහපු කතාවක්. ඔය කොලඹින් එපිට ඉස්පිරිතාලෙක කතාවක් තමයී. හැබැයී ඉතින් බොහොමයක් ඉස්පිරිතාලවලට පොදු කතාවක් කියලා තමයී මම හිතන්නේ. දරුවෙක් ඉපදෙනකොට ඇතිවෙන විලි රුදාව කියන්නෙ එසේ මෙසේ දෙයක් නොවෙයී. රුදාවෙ තරම කටින් කියන්න බැහැ නොවැ. ඔය කවුද කීවේ විලි රුදාවෙ තරම දැන ගන්න ඕනෙනම්, යටි තොල ඇදලා අරගෙන ඔලුවෙ අනිත් පැත්තට දාන්නයැයී කියලා. කොහොම උනත් විලිරුදාව හැදුනහම අම්මලා වේදනාවෙන් බෙරිහන් දෙනවා. කෑ ගහනවා. එතකොට තමයී ඉස්පිරිතාලෙ වින්නබු අම්මලා නර්ස් නොනලා ඇවිල්ල දරු උපතට උදව් කරන්නේ. ඉතින් ඔය අපේ ඉස්පිරිතාලෙ වින්නබු අම්මලා ඇවිල්ල, "පයීය දාන්න කකුල් පලල් කරන්න පුලුවන්නම් දැන් බෙරිහන්දෙන්නේ නැතිව තටමමපන් හුත්තීයේ" කියලා අම්මලාට දෙකයී හතරේ කුනු හරුපෙන් බනිනවා. පස්සේ වින්නබු අම්මලා, නර්ස් නෝනලා, "මේ ගෑනු අත බබාල වෙන්න හදනවා, මම ඒකීට සුද්ද සිංහලෙන් කීවෙ මෙහෙමයී, ඔය දැන් වැදුවෙ ලමය", කියලා එකිනෙකාට කිය කියා හිනා වෙනව. නියම විහුලුව.

කොටි මරපු හැටි
මේක අපි කවුරුත් දැකපු කතාවක්. ඔය පහුගිය වන්ගියේ කොටි මරපු චිත්‍රපටියක්යැයී කියපු එකක් ඉන්ටර්නෙට් එක පුරාම තිබුනානේ. ඔය එංගලන්තෙ හතරවෙන් නාලිකාවෙ ගියායැයී කියන එක. කවුරු හරි කොටි මරන්නත් එපායැ. කට්ටියක් අත පය බැදපු මිනිස්සු කාන්ඩයක් අමු හෙලුවෙන් ඇදගෙන ඇවිල්ල ඔලුවට වෙඩි තියලා මඩ වගුරක් උඩ මරනවා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කවුරුත් දැකලා ඇතිනේ, හැබැයී හරියට ඇහුවොතින් අහන්න පුලුවන් කවදාවත් අහන්න නොලැබෙන විහිලු කතාවක්, කට්ටිය "බලපං බලපං අන්න අරූ හාව පැන්නා වගේ වැටිලා මැරුනේ මචන්" කියලා එකිනෙකාට හිනාවෙනවා. හරිම විහිලු වැඩක් තමයී.


09 January, 2010

posted by Sam at 12:17 AM

11 Comments:




මේක ඉතින් සින්හල බෞද්ධ රට නොවෑ... ඒක නිසා ඔය වගේ පින් අතේ වෑඩ වලට අපි හිනා වෙන්න ඕනේ නේන්නම්... ඈයි හත්වලාමයි...

 


Anonymous,
මම දන්නා හැටියට හිනාවෙන්න පුලුවන් මනුෂ්‍යයන්ට විතරයී. ඒ නිසා ඔහේගේ "පොයින් එක" වැරදියි.

 


sam eka attada?

 


One of the best blog posts I have seen. What else can I say?

- Taboo

 


බිඟුවා, ඔක්කොම ඇත්ත කතා.

 


මේවා බලලා අපි 'අපිටම' හිනා වෙන්න ඕනේ හරිනම්.. නොදෝකින්!!!
ඒත් ඔහේ ලියපු විදිය නම් පංකාදුයි, ආයුබොවන්ඩ.. (ඉතිං හිනා යනවා)

මේ Word Verification එක අයින් කරන්න..

 


පිස්සා. මේ Word Verification මගුල තරම් මම අකමැති දෙයක් අපේ පාර්ලෙමෙන්තුවේවත් නැහැ. කොහෙද ගිය මුරෙ දෝරෙ ගලල ස්පෑම් එන්න ගත්තානේ. ඔන්න ආයෙත් අයින් කරා. බලමු මෙදා මුරෙ මක්කැයී වෙන්න කියලා.

 


දැන් හරි....
ඔය තියෙන්නේ යස අපූරුවට..

 


ගුටි කෑවෙ වැරදි වැඩ කරපු උන් වුනත් කතාව ඇල් මැරිල, ඇඟේ ඇඩ්‍රිනලින් බිංදුවක් නැතුව ඉන්න ගමන් ඇහුවම ගුටි කාපු උන් ගැන පොඩි දුකකුත් හිතුනා...

කුණු හරුප ටිකත් කියල තියෙන්නෙ නිල් කැටේට :D

 


අනර්ඝ ලිවිල්ල!

 


මේකේ මොන කථාවට ද හිනා යන්නේ‍‍‍...අනේ මන්දා සින්හල බෞද්ධ රටක බැල්ලියෙකුට කුණු කන්ටත් බැරි නම් ඉතින් ඒකා මොනවා කන්නද..ගුටි කනකොට හිනා වෙන කෙනෙක් දැක්කමයි...

 

Post a Comment

Links to this post:

Create a Link

<< Home